Sunday, January 20, 2019

වින්නඹු මාතාවන්ගේ ඓතිහාසික කාර්යභාරය





ශතවර්ෂ ගණනාවකට එහා ඉතිහාසයකට හිමිකම් කියන වින්නඹු කර්මය මෙලොව ඉපැරණි තාක්‌ෂණික සේවාවකි. ලෝ ප්‍රකට දාර්ශනික සොක්‍රටීස්‌ගේ මවද වින්නඹු ස්‌ත්‍රියක්‌ බව ඉතිහාසයේ සඳහන් වේ. වින්නඹු මාතාව යනු සිංහ හදවතක්‌ සහ කාරුණික දෑතක්‌ හිමි තැනැත්තියක්‌ බව ඇරිස්‌ටෝටල් පඬිවරයාගේ අදහස විය.

මානව වර්ගයාගේ ආරම්භයේ සිටම ප්‍රසවයට සහය වන්නියක්‌ සෑම ජන කොටසක්‌ තුළම සිටි බවට ඉතිහාසය සාක්‌ෂි දරයි. එය වෘත්තියක්‌ ලෙස නොව හද ඉපිල ගිය මානව දයාවෙන්ම තම වර්ගයා උදෙසා ඉටු කළ සේවාවක්‌ම විය.

මෙම අන් සියලු ක්‍ෂේත්‍රයන් සමගම විද්‍යාත්මක තාක්‌ෂණික විකාශනයක්‌ දියුණුවක්‌ ලැබූ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ වින්නඹු සේවාව ද වර්තමානය දක්‌වා ඉතා සාර්ථක මාවතක පැමිණ ඇත. ඒ මෙරට මව් මරණ අනුපාත ළදරු මරණ අනුපාත දිනෙන් දිනම අවම කර ගනිමින් ඉතා උසස්‌ සෞඛ්‍ය දර්ශකයන්ට ඉන්දියන් සාගරයේ මුතු ඇටය ඔසවා තබමින් පරම්පරාගතව බොහෝවිට මවගෙන් දුවට හිමිවෙමින් ජනතාව තුළ නිරන්තර ගෞරවාදරයට පත් වෙමින්a වින්නඹු කර්මය මෙරට කාන්තාවන් විසින් සිදු කරගෙන පැමිණ ඇත.

මෙරට සමාජ සම්ප්‍රදාය තුළ ගැබ් ගැනීම, ගැබ දරා සිටීම, දරු ප්‍රසූතිය, දරුවා මව රැක බලා ගැනීම සහ පෝෂණය සුවිශේෂී වැදගත්කමක්‌ දැරූ අංගයන්ය. වින්නඹු අම්මා නම් චරිතය ප්‍රවේශ වන්නේ මෙකී රෝගයක්‌ නොවන සාමාන්‍ය තත්ත්වයකට සහය වීම සඳහා හෙවත් සේවාව සැපයීම සඳහායි.

1880 වසරේ ප්‍රථම වින්නඹු සේවිකාවන් 6 දෙනා පුහුණු කරමින් දකුණු ආසියාවේ ප්‍රථම මාතෘ රෝහලවූ ශ්‍රී ලංකාවේ ප්‍රථම මාතෘ රෝහල ආරම්භ විය. ඒ කොළඹ 08 පිහිටි ද සොයිසා කාන්තා රෝහලයි. විධිමත් පුහුණුවකින් අනතුරුව ආයතනික දරු ප්‍රසූත කටයුතු මෙලෙස ආරම්භ වන අතර ඊට සමගාමීව 1883 වසර වන විට කොළඹ මහ නගර සභා පරිශ්‍රය තුළ ක්‍ෂේත්‍ර පුහුණුව ආරම්භ කරමින් විධිමත් පුහුණුවක්‌ ලැබූ වින්නඹු මාතාවන් ක්‍ෂේත්‍ර සේවා කටයුතු සඳහා යොමු විය.

එතැන් පටන් වත්මනට විකාශය වී ඇති වින්නඹු කර්මය පූර්ව ප්‍රසව සත්කාරය, ප්‍රසව සත්කාරය, පසු ප්‍රසව සත්කාරය මූලික කොට ගනිමින් ප්‍රතිශක්‌තීකරණය, ළදරු ළමා සත්කාරය, වැඩිහිටි සත්කාරය, යොවුන් සෞඛ්‍ය පාසල් සෞඛ්‍ය, සුවනාරී සායන, පවුල් සංවිධාන, සෞඛ්‍ය අධ්‍යාපනය, බෝවන රෝග පාලනය, බෝ නොවන රෝග පාලනය, හදිසි ආපදා අවස්‌ථා ආවරණය ආදී විවිධ පැතිකඩ රාශියක්‌ ආවරණය කරමින් දිවයින පුරා ඵලදායී ශක්‌තිමත් සෞඛ්‍ය සේවාවක්‌ මෙරට මව් දරුවන් ප්‍රමුඛ සමස්‌ත පවුලට ප්‍රජාවට සපයමින් සිටී.

මෙම ලිපිය සෞඛ්‍ය සන්නිවේදනය විෂය ඉගෙන ගන්නා විද්‍යාර්ථීන්වෙනුවෙන් හා සමාජ දැනුවත් භාවය වෙනුවෙන් ලිවීමට සිත් විය.
සටහන : පූර්ණිමා සෙව්වන්දි

1 comment: